Breaking News

රටම කතා කළ ජාතික රෝහලේ මුදල් කොල්ලය වැළකූ, ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ගැන, පොලිසිය තීරණයක් ගනී

ජාතික රෝහලේ මුදල් කොල්ල කෑ වෛද්‍යවරයාව අත්අඩංගුවට ගත් මෙහෙයුමට එක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ට එරෙහිව කිසිදු පරීක්ෂණයක් නොපවත්වන බව මාතර කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ හොඳ වැඩක් කළ නිලධාරියෙකුට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය නොවන බවයි.

ඇය කළ ක්‍රියාව අගය කිරීම සඳහා කටයුතු කරමින් යන බවද ඔහු කියා සිටියා.

කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ තිබූ රුපියල් ලක්ෂ 79 කට අධික මුදලක් පැහැරගත් වෛද්‍යවරයා අදාළ කොල්ලය දීර්ඝ කාලයක සිට සැළසුම් කර ඇති බවට මේවනවිට අනාවරණ වී තිබෙනවා.

ඊට අදාළ ලිපි ලේඛනද මේ වනවිට සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

සැකකාර වෛද්‍යවරයා මේ වනවිට මරදාන පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර, ඔහුට කිසියම් මානසික ආබාධයක් පවතින්නේද යන්න පිළිබඳව සොයාබලන බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

සෙල්ලම් පිස්තෝලයක් යොදාගනිමින් ජාතික රෝහලේ ගිණුම් අංශයේ මුදල් අයකැමිවරිය බියගන්වා සැකකරු මෙම මුදල් කොල්ලය සිදු කළේ ඊයේ දහවල් කාලයේදියි. කොල්ලය සඳහා මොහු බොරු කොණ්ඩයක් ද පැළඳ පැමිණ ඇති බවටද මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

රෝහලේ කාර්ය මණ්ඩලයට ලබාදීමට නියමිතව තිබූ අතිකාල දීමනා, වැටුප් මෙන්ම අතිරේක රාජකාරි සඳහා ගෙවීමට තිබූ මුදල් මෙලෙස කොල්ලකා තිබූ අතර, පසුව ඔහු ත්‍රිරෝද රථයකින් පලාගොස් තිබුණා.

කෙසේ වෙතත් එහිදී තවත් ත්‍රිරෝද රථයකින්, සැකකරු හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික නිලධාරීන් දෙදෙනෙකු විසින්.

එම අවස්ථාවේදී කිසියම් කටයුත්තක් සඳහා මෝටර් රථයෙන් කොළඹට පැමිණ සිටි මාතර කොට්ඨාසයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තද කොල්ලකරු අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි නිලධාරීන්ට සහය වී තිබුණා.

එම අවස්ථාවේ මෙම නිලධාරිනියගේ දරුවාද එම රථයේ සිට තිබෙනවා.




No comments